Pages

Sunday, March 29, 2020

ජ්‍යෝතිෂයේ කුජ දෝෂය පිටුපස ඇති ඇත්තම කතාව දැනගමු. කුජ දෝෂය ඇතිවන හා නැතිවන හැටි




    


 කුජ දෝෂය නැතිනම් "මංගල දෝෂය" ගැන  බොහෝදෙනෙක් දක්වන්නේ බියක්. ඒ පිළිබඳව සෘණාත්මක ආකල්ප තමයි ඔවුන්ගේ සිත් තුල ඇතිවන්නේ. ජ්‍යෝතීෂයෙදී විවාහ මංගල කටයුතු හා සම්බන්ධ කටයුතුවලදී මේ කුජ ග්‍රහයා හා එහි දෝෂය ගැන විශේෂයෙන් සැළකිලිමත් වනවා. ඒ වගේමයි  අතීතයේදී මෙරට සිටි රජවරු  සටන් ආදී යුධමය කටයුතුවලදීත් මේ කුජ ග්‍රහයාගේ පිහිටීම්  හා කුජ හෝරාවන් ගැන වැඩි සැළකිල්ලක් දැක්වූ බවත් පැරණි  පොත්පත්වල සඳහන්වී තිබෙනවා. හමුදාපතින් හා ආරක්ෂක අංශ වල ප්‍රධාන නිලධාරින් වැඩි දෙනෙකුගේ කේන්දර වල මේ කුජ ග්‍රහයා බලවත්ව සිටින බව ද දැකගත හැකියි.

කුජ ග්‍රහයා විසින් විවාහයට අදාළ ලිංගික ශක්තිය, රුධිරය, ස්ත්‍රින්ගේ ඔසප් චක්‍ර, අවි ආයුධ අනතුරු, එඩිතර ගති පැවතුම්, කෝපය, පාලනය , නායකත්වයන්  ආදිය නියෝජනය කරයි. ග්‍රහ ලොව යුධ සෙන්පතියා ලෙසට සළකන්නේ කුජ ග්‍රහයායි.

 කුජ දෝෂය
කුජ දෝෂය, මංගල දෝෂය නැතිනම් භෞම දෝෂය කුමක්ද?

ඔබ උපන් කේන්දරයේ ලග්නයෙන් නැතිනම්, සඳුගෙන් හෝ සිකුරුගෙන් 1, 2, 4. 7, 8, 12 යන ස්ථානයක කුජ ග්‍රහයා දුර්වලව වෙනත් පාප ග්‍රහයින් හා සංයෝග වී හෝ පාප ග්‍රහයින්ගේ දෘෂ්ටීන්වලට ලක්වී ඇති විට මේ කුජ දෝෂය නිර්මාණය වෙයි.

එමෙන්ම කේන්දරයක 7 අධිපති ග්‍රහයා සමඟින් දුර්වල කුජ සංයෝග වූ විටත් යම් අවස්ථාවලදී කුජ ග්‍රහයාගේ පාපී බාපෑම් එල්ලවිය හැකි බව ද කිව යුතුයි.

කුජ දෝෂයේ අයහපත් ප්‍රතිවිපාක

  සමාන්‍යයෙන් අයහපත් නැතිනම් පාප පීඩිතව  විවාහයට බලපාන ඉහත ස්ථානයක සිටිනා කුජ නිසා විවාහ දිවියේ අඩදබර ඇති වීම්, අසනිප තත්වයන් වැඩි වීම, ලිංගික ජීවිතයේ ගැටලු මතුවීම, අනෙකාට යටත් නොවනා තද ගති පැවතුම් ඇතිවීමට හේතු වෙයි.  ඇතැම් අවස්ථාවල මෙම කුජ දෝෂය හේතුවෙන් තම සහකරු හෝ සහකාරිය ලෙඩ විම් , හදිසි අනතුරු වලට ලක්වීම් හෝ මරණය වැනි දරුණු ගැටලු පවා ඇති විය හැකි බවත් කියැවෙනවා. අතීතයේ සිටම පොරොන්දම් ගැලපීමේදී මෙම කුජ දෝෂය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්නේත් ඒ නිසාමයි. ඉහත කී අයහපත් ප්‍රතිපල ප්‍රායෝගිකව අත් විඳි බොහෝ පිරිස් අතීතයේ මෙන්ම වර්තමානයේද සමාජයේ සිටිනවා. ඒ නිසාමයි අදටත් ඔබ පුවත්පත්වල ඇති මංගල යෝජනා බහුතරයකම කුජ දෝෂ්ය හා 7,8 පාපින් ගැන වැඩිහිටි පාර්ශවය වැඩි අවධානයක් යොමු කරන්නේ. 


     ජන්ම පත්‍රයක කුජ දෝෂ්ය යෙදී ඇතිවිට  විවාහය ප්‍රමාද වීම සාමාන්‍යයි.  එසේම ඔවුන්ට අඩු වයසකදී විවාහ වෙනවාට වඩා ප්‍රමාද වී හෝ පොරොන්දම් ගලපා විවාහ විම යහපත්ය.  අවුරුදු 28න් පසු කුජ දෝෂය බල නොපාන බවටද සමහර මත ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවද පොදුවේ කුජ 1, 4, 7, 8 වැනි ස්ථානවල කුජ පාප පීඩිත වැඩි දෙනෙකුගේ ඉක්මන් කෝප වන ගති වැඩි ය. නමුත් වයසින් පරිණතවත්ම සමාජයෙන් ඔවුන් ලබනා කටුක අත්දැකීම් හමුවේ එම ගති පැවතුම් යම් තරමකින් හෝ අඩු විය හැකිවිමත්, විවාහ ප්‍රමාදයත් සමඟින් හා සමාජයීය සංසන්දනයන් හෝ මානසික පීඩා නිසා එකී පාප නැතිනම් පාපි කුජට හේතු වනවායැයි කියන  පෙර ආත්මයෙ කරන ලද කර්මයන් යම් තරමකින් හෝ ගෙවී යනවායැයි යන  තාර්කික මතය හා එකඟ විය හැකි බව ඇතැම් ජ්‍යෝතිෂවේදීන්ගේ මතයකි.

  පාපී කුජ සමඟින් ගුරු එකතුවීම අයහපත් තත්ව යම් තරමකින් අඩු කෙරෙනවා මෙන්ම කුජ මෙන්ම ලිංගික ශක්තිය පෙන්නුම් කරනා සිකුරු ග්‍රහයා සමඟින් එකතු වූ විට අධි කාම යෝග පවා නිර්මාණය වෙයි. දුර්වල කුජ සමඟින් කේතු එකතුවූ විට ද ලිංගික ශක්තිය අඩු කෙරෙන බව හා  එයට හේතුවන රෝග දුර්වලතා ඇති විය හැකි බව කියැවේ. පාපි  කුජ හා දුර්වල වූ චන්ද්‍රයා විසින් ද මත්පැනට ඇබ්බැහි වූ   බේබද්දන් බිහි කෙරෙන අවස්ථා ද ඇත. කෙසේ නමුත් මෙවැ නි යෝග සමඟින්ම සමස්ථ කේන්දරයම හා ග්‍රහ දෘෂ්ටි ආදී කරුණු සියල්ලම ගැඹුරින්  පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් එම ප්‍රතිපල  ගැන  නිවැරදිව කිව හැකි බව ද අමතක කළ  යුතුයි. නෙසේනම් එවැනි යෝගයක් යෙදුනු පමණින්ම ක්ෂණිකව එම මතය තහවුරු කරගැනීම වැරදි පිලිවෙතකි.

කුජ දෝෂය භංග වන ආකාරයන්

 යමෙකුගේ කේන්දරයෙහි කුජ ග්‍රහයා සිටිනුයේ මකර රාශියේ නම් උච්චයි. මේෂ හා වෘෂ්චික රාශිවල කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර වෙයි. එවැනි අවස්ථා වලදී මංගල දෝෂය ඇති නොවේ. ඔවුන්ගේ කුජ බලවත් නිසා පාප කේන්දර නොගැලපෙයි.  මෙවැනි විටකදී කුජ 1, 2, 4, 7, 8, 12 ස්ථානයක යෙදුන ද පාපි නොවේ.
  එමෙන්ම කුජ දෝෂය යෙදී ඒ සමඟින්ම වෙනත් ගුරු ග්‍රහයා වැනි සුබ ග්‍රහයෙකු සංයෝගවී ඇතිනම් හෝ එවැනි සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ටිවලට නතුවේ නම්  එමඟින් ද දෝෂ යෙහි බලපෑම් අඩු වෙයි.
විසෙන් විසක් නැසිය හැකි සේ මෙලෙසට කුජ දෝෂය යෙදී ඇති කේන්දර වලට විවාහයේදී ගැලපිය යුතුවන්නේ ඉහත පෙන්වූ ආකාරයකට කුජ දෝෂය යෙදුණ කේන්දරයක්මයි..  
මේ කරුණු කාරණා සියල්ල දෙසම විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ නම් කුජ  ග්‍රහයා `පෙර කී ස්ථාන වල හෝ 7 වැන්නේ සිටි පමණින්ම සෑම විටකම කුජ දෝෂය නිර්මාණය නොවනා බවයි. එනිසා ආවාට ගියාට කේන්දර ගලපන්න යන්න එපා. මෙවැනි දෝෂයන් පරික්ෂාවෙදී දක්ෂ අත්දැකිම් ඇති ජ්‍යොතිෂවේදියෙකුගේම සහය ලබාගැනීම වැදගත්ය.



ASTROMANSALA E Astrology Service Sri Lanka.

(මෙම ලිපියෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය අප සතුයි. එය කුමන ආකාරයකින් හෝ අවසර නොමැතිව උපුටා ගැනීම වීඩියෝගත කිරිම වරදකි. )